
ගැබිනි කාන්තාවක් පැහැරගෙන ගොස් සාමූහික වශයෙන් දූෂණය කල හිටපු යුද හමුදා සෙබළුන් සිවු දෙනකු උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් පසුගියදා බරපතළ වැඩ ඇතිව වසර දොළහකට දඟගෙට යවනු ලැබිය.
එම යුධ හමුදා සෙබළුන් මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ, මීට වසර පහළොවකට ඉහතදීය. එකල ඒ සිදුවීම රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන්නක් විය. ඊට මුල්වූයේ එම සෙබළුන් එකල සක්‍රිය හමුදා සේවයේ නිරතව සිටි අය වීමයි. එසේම ඔවුන් මේ අපරාධය කරන්නේද යුද හමුදා ඇඳුමින් රාජකාරියේ නිරතව සිටියදීමය.
එකල මෙම සෙබළුන්ගේ ගොදුර බවට පත් වූයේ එප්පාවල කටියාවේ පදිංචිව සිටි කාන්තාවකි. ඒ හරියටම 1998 වසරේ නොවැම්බර් 22 වෙනිදාය. එවිට ඇගේ වයස අවුරුදු විසි අටකි.
මේ අපරාධය ගැන පොලිසියට දැනුම් දුන්නේ යුද හමුදාව විසින්ම වීම විශේෂිතය. ඒ යුද හමුදා පොලිසියේ ලුතිනන්වරයකු වූ ලන්සක්කාර නම් වූ නිලධාරියෙකි. අනුරාධපුර මූලස්ථාන පොලිසියට ඔහු ඒ ගැන පැමිණිලි කරන්නට එන්නේද තනිවම නොව, දූෂණයට ලක්වූ කාන්තාවද, ඇයව දූෂණය කළ හමුදා සාමාජිකයන්ද රැගෙනය.
අනාවරණය වූ ආකාරයට අනුව ඇයව සාමූහික වශයෙන් දූෂණය කරන්නට නායකත්වය දෙන්නේ කෝප්‍රල්වරයෙකි. සෙසු තිදෙනා ඔහු යටතේ සිටි සෙබළුන්ය.
මේ සිවු දෙනාම එදා රාජකාරියේ නිරතව සිට ඇත්තේ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි වික්ටර් යුද හමුදා රෝහල ආසන්නයේ ඇති බංකරයකය. මෙකල යුද්ධය දරුණුවට පැවැති වකවානුවක් වූ බැවින් සිවිල් බලයට වඩා හමුදා බලය අනුරාධපුරයේ රජකළා යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. එදා මේ හමුදා භටයන් ඇයව දූෂණය කරන්නේද තමා ගැබිනියක් බවට කෑමොර දෙන විටදීමය.
එප්පාවල කටියාවල පදිංචිව සිටි ඇය අනුරාධපුරයේ හමුදා බංකරයක් තුළදී දූෂණයට ලක්වන්නේ ගැබිනි මවුවරුන්ගේ සායනයකට සහභාගි වීමේ අපේක්ෂාවෙන් අනුරාධපුරයට පැමිණ එදින රැය පහන් කිරීමට විශ්‍රාම ශාලාවකට යමින් සිටියදීය.
ඒ වන විට ඇය හයමස් ගැබිනියකි. ඇයට එකල සිවු හැවිරිදි දරුවකුද සිට ඇත. සායනයට සහභාගිවීමේ සූදානමින් ඇය එප්පාවල සිට අනුරාධපුරයට පැමිණෙන්නේ තනිවමය. ඒ ඇයට එසේ පැමිණීම එතරම් අමුතු දෙයක් නොවන බැවිනි.
සායනයට ඇය සහභාගි වීමට නියමිතව තිබුණේ ඊට පසුදිනය. පෙර දිනයේ ඇය අනුරාධපුරයට පැමිණෙන්නේ පහසුවතකාය. එප්පාවල සිට අනුරාධපුරයට පසුදින අලුයම පැමිණීම දැඩි වෙහෙසකර කටයුත්තක් බව ඇය දැන සිටියාය.
අනුරාධපුරයට ඒ පැමිණි ඇය අනුරාධපුර නගරයේ එළවළු තට්ටුවක් කරගෙන යන ජයන්ත නම් ඇගේ හිතවතෙකු මුණ ගැසුණාය. ජයන්ත යනු ඇය කාලයක සිටම දැන හඳුනන තැනැත්තෙකි. ඇය ජයන්තගෙන් ඉල්ලා සිටින්නේ එදින රැය පහන් කරන්නට තැනක් සොයා දෙන ලෙසය.
එහිදී ඔහු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන යන්නේ රත්නමාලි විශ්‍රාම ශාලාව වෙතය. එවිට වේලාව රාත්‍රී 8.00 ට පමණ ඇත. ත්‍රිරෝද රථය ගමන් කරන්නට වූයේ ජයන්ති මාවත ඔස්සේ්ය.
ත්‍රිරෝද රථය යුදහමුදා වික්ටරි රෝහල ආසන්නයට කිට්ටු වූවා පමණි. බංකරයක රැඳී සිටි සෙබළුන් පිරිසක් ගිනි අවි අමෝරාගෙන ත්‍රිරෝද රථය වෙත කඩා පැන්නෝය. ඒ ත්‍රස්තවාදීන් පිරිසක් කොටුකරගන්නට පනින ආකාරයෙනි.
“බැහැපියව් උඹලා දෙන්නා.” ත්‍රිරෝද රථයේ රියැදුරුත් ජයන්තත් සන්නද්ධ සෙබළුන් විසින් බිමට බස්සවා ගනු ලබන්නේ එසේය. ඒ ඇය දෙසට කෑදර බැල්මක්ද හෙළමිනි. එසේ ත්‍රිරෝද රථයෙන් බස්සවාගත් දෙදෙනාව ඔවුන් රැගෙන යන්නේ අසල ඇති හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයටය. එහිදී ඔවුන් දණගස්සවා තබා ඇත්තේ අණට අකීකරු වුවහොත් ජීවිතයට අනතුරක් කරන බවට තර්ජනය කරමිනි.
එම අණට කීකරු නොවී වෙඩි කනවාට වඩා ඒ අණ පිළිගැනීම නුවණට හුරු බව ඔවුහු කල්පනා කළහ. ඒ අනුව ජයන්තත්, රියැදුරුත් තණකොළ ගොල්‍ලේ දණ ගසමින් ඔවුන් කියන විදිහට සිටියෝය.
ඒ අතර එක් සන්නද්ධ භටයෙකු ත්‍රිරෝද රථයේ සිටි ඇය අසලට පැමිණ ඇත. “බැහැල වරෙන් අපිත් එක්ක” ඔහු නියෝග කළේය.
“ ඒ ඇයි?” බියට පත්ව සිටි ඇය ඔහුගෙන් විමසුවාය.
“බහින්නයි කීවේ” හමුදා භටයා ඇයට තර්ජනය කරන්නට වූයේ “බැස්සේ නැත්නම් දන්නවනේ” යැයි කියමින් ගිනි අවියද ඇය වෙත දිගුකරමිනි.
ඒ අණට කීකරුවනවා හැරෙන්නට ඇයටද වෙන කරන්නට යමක් නොවීය. ඇය තම අතවූ සායන කාඩ්පත් අඩංගු බෑගයකුත්, අත්බෑගයත් අතැතිව ත්‍රිරෝද රථයෙන් බිමට බැස්සාය.
“මේ මොනවද?” යැයි පවසමින් ඒ හමුදා භටයා ඇගේ අතෙහි වූ සායන කාඩ්පත් අඩංගු බෑගය විසිකර දමමින් අත්බෑගය අතට ගෙන එහි තිබූ රුපියල් 320 ක මුදල ගෙන සාක්කුවට දමාගත්තේය.
“දැන් පලයන් අරක ඇතුළට” බංකරයක් පෙන්වමින් ඔහු ඇයව ඒ තුළට රැගෙන ගියේය.
එතැන් සිට පැය දෙකක් පුරා ඇය දූෂණයට ලක්වන්නේ ඇය සිටින තත්ත්වය ගැනවත් කිසිදු තැකීමක් නොකරමිනි. මාරුවෙන් මාරුවට සෙබළුන් සිවුදෙනා අතින්ම ඇය දූෂණයට ලක්වන්නේ තමාට එය ඉවසිය නොහැකි බව වැඳ වැටෙමින් ඇය කෑමොර දෙන විටදීය.
ජීවිතයට ඇති ආසාව නිසා වේදනාව ඉවසාගෙන සිටීම හැරුණුකොට ඇයට කෑගසන්නටවත් නිදහසක් ඒ නිසා නොවූවාය.
මේ ආකාරයෙන් ඇය අමානුෂික අපරාධයක ගොදුරක් බවට පත්වෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයක් එකවරම බංකරය අසල නතරකරනු ලැබිය. විදුලි පන්දම් එළියක්ද බංකරය දෙසට ආවේය. “සී.සී.එම්.පී. (යුද හමුදා පොලිසිය) ද දන්නේ නැහැ. දුවපන් ගෑනියේ” ඒ අවස්ථාවේ ඇය සමග සිටි සෙබළා කලබල වෙමින් කෑමොර දුන්නේ වැඩ වරදින්නට යන බව හැඟුණු නිසා විය යුතුය.
ඒ ලද අවස්්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඇය තම රෙදි කඩමලුද රැගෙන බංකරයෙන් එළියට දිවයන්නට විය. එසේ පලා ගිය ඇය රැය පහන් කරන්නේ මල්වතු ඔය අයිනේ වනරොදක සැඟවීය.
පොළොවට එළිය වැටීමත් සමග සැඟවී සිටි තැනින් එළියට එන තරුණිය යන්නේ අනුරාධපුර කඩදොළහටය. පෙර දිනයේ ඇයව රත්නමාලි විශ්‍රාම ශාලාවට රැගෙන ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු එහිදී ඇයට මුණගැසෙන්නේ අහම්බෙනි. ඇයට සිදුවූ දේ ගැන කියන්නට යුද හමුදා පොලිසිය වෙත ඇයව රැගෙන යන්නේ ඔහුය.
යුද හමුදා පොලිසිය ඇයව දූෂණය කළ සෙබළුන් අල්ලා ඇයත් සමග පොලිසියට ගෙන ගොස් බාර දෙන්නේ ඉන් අනතුරුවය.
එසේ ගැබිනි කාන්තාවක් සාමූහිකව දූෂණය කළ ඒ සෙබළුන්ට පසුගිය ජනවාරි 31 දා අනුරාධපුර මහාධිකරණයෙන් වසර දොළහක සිර දඬුවමක් හිමිවන්නේ වසර පහළොවක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව වීමද විශේෂත්වයකි.
-ලක්බිම
0 අදහස්:
Post a Comment