
ළමා පිටියේ ගීත ගයන කොට ඉස්කෝලේ ළමයි මට ළමා පැටියා කියලා විහිළු කළා
“ලාංකේය රිදී තිරයේ රිදී සීනුව“ ලෙසින් විරුදාවලී ලත් ඇය ප්‍රවීණ සුපිරි ගායිකා ඇන්ජලීන් ගුණතිලක ‘සුපිරි ගායිකාවක’ ලෙස මා ඇය හැඳීන්වූයේ කොතරම් අනුකාරකයින් සිටියත් තවමත් ඇගේ සු මධුර ස්වරයට සම කළ හැකි ගායිකාවක් බිහි වී නැති නිසයි. දශක පහකටත් අධික කාල පරාසයක් මුළුල්ලේ සිය මධුර මනෝහර ස්වරයෙන් රසික දෙසවන් මෝහනයට පත් කරන ඇන්ජලීන් බොහොම ප්‍රතිපත්තිගරුක කෙළින් කතා කරන චරිතයක් ලෙසත් ප්‍රකටව සිටිනවා.
නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඇගේ සුන්දර නිවෙස සොයාගෙන අප යනවිට ඈ අප පිළිගන්නට පෙරමග බලා සිටියා.
“කෝ ඔයා ඊයේ හවස මට ස්ථිර කළේ නෑනේ අද උදේ එනවා කියලා. ඉතින් මට ඔන්න වැඩිපුර මොකුත් සූදානම් කරගන්නත් බැරි වුණා.” ඈ අප පිළිගත්තේ පුංචි නෝක්කාඩුවකුත් එක්කයි.
“එන්නෙ නැත්නම් විතරනේ මම කතා කරනවා කීවේ. අද උදේම මම කතා කළානේ.” නිදහසට කරුණු කියමින් ම අපි ඇගේ ආලින්දයට ගොඩ වුණා.
ඒ වුණාට මගේ හිතට මදි. මගේ ගෙදර වැඩ සේරම මං තනියමනේ කරගන්නේ. ගෙදරට එන අමුත්තන්ට හොඳට සළකන එක මට ලොකු සතුටක්. ඈ තවමත් ඒ ගැන පසුතැවිලි වෙනවා.
ඒකට කමක් නෑ. ඔබේ අතීතයෙන් ම අපි කතාව පටන්ගනිමු නේද? නොදන්නා අයට දැනගන්නත් එක්ක ඔබේ සම්පූර්ණ නම කියන්න? මා ඇයට ඇරැයුම් කළා.
ඇන්ජලිනා රේචල් ද ලැනරෝල්. දැන් ගුණතිලක.
උපන්නේ?
දෙසැම්බර් මාසෙ විසි තුන්වැනිදා. මාතර පල්ලිමුල්ලේදී.
මවුපියන් කවුද?
පප්පා ජෝන් හෙන්රි ද ලැනරෝල්. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළා. මම්මා ක්ලැරිස් රේචල්. ඈ රැකියාවක් කළේ නෑ.
සහෝදර සහෝදරියන්?
අපේ පවුලේ ළමයි දහදෙනයි. මම පවුලේ හත්වැනියා.
ළමා කාලේ කොහොමද?
හරිම සුන්දරයි. අපිට ඒ හැටි අඩු පාඩුවක් තිබුණේ නෑ. පප්පයි මම්මයි අපිට හැම දේම ලබා දුන්නා. ඇති තරම් කෑම බීම ඇඳුම් පැලඳුම් ලැබුණා. ඒ කාලේ අපි හිටියේ මාතර පල්ලිමුල්ලේ නිවෙසක. අහල පහල ළමයි එක්ක ඇති තරම් සෙල්ලම් කළා. නිදහසේ සැහැල්ලුවෙන් හිටියා.
මුලින් ම පාසල් ගියේ?
මාතර සාන්ත මරියා කන්‍යාරාමයට. කොළඹ ආවාට පස්සේ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය.
පාසල් කාලේ මතකය අවදි කරමුද?
මාතර දී අපි පාසල් ගියේ බක්කි කරත්තෙන්. මේ බක්කිය ඒ කාලේ හැටියට හොඳට සරසලා. හරි ලස්සනයි. බක්කිය ඇදපු හරකා පාසල් වත්තේ බැඳලා අපි පාසල ඇරුණාම ඒක දක්කාපු ජිනේරිස් හවසට අපිත් එක්කම ගෙදර එනවා. තාත්තාට කොළඹට මාරුවක් ලැබුණාම අපි ඇවිත් මාදිවෙල පදිංචි වුණා. කොළඹට එනකොට බක්කියත්, ගොනාත් සේරම කෝච්චියේ පටවාගෙන ආවා.
අපි කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු කළා. අපි පාසල් ගියේ අපේ බක්කියෙන්. පාසලේ වැඩිපුර හිටියේ බර්ගර් හෝ වෙනත් විදේශික ළමයි. ඒ අය අපි බක්කියෙන් ආපු නිසා ‘ගොඩයෝ’ කියලා විහිළු කළා. අපේ වාසගම ලැනරෝල් නිසා පිරිමි ළමයි අපිට ‘පිෂ්රෝල්’, ‘චෛනීස් රෝල්’, ‘මට්න් රෝල්’ කියමින් විහිළු කළා. අපි මාතරින් ඇවිත් කොළඹට නුහුරුයි. ඊට වඩා හරි බයයි. ඉතින් අපි කටවහගෙන බිම බලාගෙන ඉන්නවා.
ගෙදර පරිසරය කොහොමද?
පප්පා හරිම සාමකාමීයි. මම්මා නම් සැරයි. නැතිව අපි දහ දෙනෙක් පාලනය කරගන්නේ කොහොමද? මම්මා හරිම කඩිසර දක්ෂ කාන්තාවක්. අපේ ගෙදර කටයුතු සේරම හොයා බැලුවෙ මම්මා. කොළඹට ආපුවාම ඉඩමක් හොයාගෙන ගේ දොර හදාගෙන සේරම කළේ අම්මා. අපි රෝමානු කතෝලික. හොඳ ආගමික පසුබිමකුත් ලොකු හික්මීමකුත් තිබුණා.
පොත පතේ වැඩ?
බලකිරීමක් තිබුණේ නෑ. අපිම අපේ වැඩ කරගත්තා. ඉංග්‍රීසි පිළිබඳ ලොකු උනන්දුවක් පාසලෙන් ම ඇති කළා. පුංචි කාලේ ඉඳලාම හරියටම නිවැරැදිව ඉංග්‍රීසි වචනවලට අකුරු ලියන්න පුරුදු කළා. නොදන්න වචනයක් දුටු ගමන් ම ශබ්දකෝෂය පෙරළලා බලන්න පුරුදු වුණා. අදටත් මට ඒ පුරුද්ද තියෙනවා. මා ළඟ ශබ්ද කෝෂ කිහිපයක් ම තිබෙනවා. අදත් මම හැම විටම ඉතාම නිවැරැදිව ඉංග්‍රීසි බස ලියන්නට උනන්දු වෙනවා.
පුංචි කාලෙත් ගයන්නට දක්ෂද?
එහෙම විශේෂයක් නෑ. හැබැයි මම සින්දු පිස්සියක්. අපේ ගෙදර රේඩියෝ ග්‍රෑම් එකක් තිබුණා. රේඩියෝ ව ළඟ ඉඳගෙන ඕකට කන ළං කරගෙන මම සින්දු අහනවා. මේ සින්දු යනවිට ගායිකාව එන හැටි, ඉඳගන්න හැටි, ගායනය කරන හැටි මම හිතින් මවා ගන්නවා. මේක දැකපු මගේ රෝස් අක්කා මාව ගායනයට උනන්දු කළා. මම්මාත් මගේ දස්කම් හඳුනා ගෙන ඒ හැකියාව වර්ධනය කරගන්න උදව් කළා. මට වැඩිමල් අයරින් අක්කාටත් හොඳට ගයන්න පුළුවන්. ඒ වනවිටත් ඈ ගුවන් විදුලියට සම්බන්ධව සිටියා.
ඉතින්...
අයරින් අක්කා සින්දු අහනවා. ඒවා ලියාගෙන සින්දු පොත් හදනවා. සින්දු කියනවා. රුක්මනී දේවි, රුද්‍රානි ලියනගේ වැනි ගායිකාවන් ගේ ගීතවලට මා ප්‍රිය කළා. අක්කා ගීත ගයන විට මාත් ගයනවා. මගේ ගී ගායනය අහගෙන ඉඳලා මගේ දෙවැනි අක්කා රෝස් දවසක් ගුවන් විදුලියේ පැවැත්වුණු ගීත තරගයකට මා වෙනුවෙන් ඉල්ලුම් පතක් යොමු කළා. ඒ තරගයෙන් මට දෙවැනි තැන ලැබුණා.
පළමුවැනියා වුණේ කව්ද?
චන්ද්‍රානි රොද්‍රිගෝ පසුව චන්ද්‍රානි ගුණවර්ධන.
ඉන් පස්සේ?
මේ ජයග්‍රහණයෙන් පස්සේ එවකට හිටි ප්‍රසිද්ධ කලාකරුවෙකු වූ සිරි සත්කුමාර මහත්තයා මා සොයාගෙන අපේ නිවෙසට ඇවිත් මට ගුවන් විදුලියේ ළමා පිටියේ සින්දු කියන්නට අවසර දෙනවද කියලා මම්මා ගෙනුත් පප්පාගෙනුත් ඇහුවා.
ඔවුන් අවසර දුන්නා ද?
පප්පා නම් කැමැති වුණේ නෑ. ඒත් මම්මා කැමැත්ත දුන්නා.
මම්මාත් එක්කම කරුණාරත්න අබේසේකර මහතාගේ නිවෙසට ගියා. ඔහුත් සමඟම ගුවන් විදුලියට ගියා. ගිහින් අපි දන්නා සින්දුවක් කීවා. මාව තෝරා ගත්තා. පාසලෙන් පසුව අන්තිම කාල පරිච්ඡේදය හැරලා ගුවන් විදුලියට එන්න කීවා.
පාසලෙන් අවසර ලැබුණාද?
හිටපු විදුහල්පතිතුමා ඩන්කන් ද සිල්වා මහත්තයාට මගේ ගුරුතුමා වූ පදුමනායගම් මහත්තයා කරුණු කීවාම අවසර දුන්නා. මම ළමා පිටියේ ගීත ගයන බව දැනගත්තාම මට ළමයි “ළමා පැටියා, ළමා පැටියා” කිය කියා විහිළු කළා.
ළමා පිටියට ඔබ මුලින් ම ගැයූ ගීතය කුමක්ද’?
කරුණාරත්න අබේසේකර මහත්තයා ලියූ ‘තවමත් තටු සීතලේ - කවුදෝ අනේ මේ දේ කළේ’ යන සමනලයකු ගැන කියැවෙන ගීතයක්.
ඉන් පස්සේ?
මම දිගටම ළමා පිටියේත් වෙළෙඳ තැටි වලටත් සින්දු කීවා. ඇන්ජලීන් ද ලැනරෝල් නමින් ඉක්මනින් ම ප්‍රසිද්ධියට පත් වුණා.
චිත්‍රපට පසුබිම් ගායනයට යොමු වුණේ කොහොමද?
ඒකාලේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට සමාගම ‘තරු තැනුම’ යනුවෙන් ජනප්‍රිය ශිල්පීන් අතරේ ගායනා තරගයක් පැවැත්වූවා. එහි ප්‍රථමයාට තෑගි දුන්නේ ‘පාකර් – 51’ පෑනක්. දෙවැනියාට තෑග්ග ලෙස චිත්‍රපටයක පසුබිම් ගීතයක් ගයන්න අවස්ථාව දුන්නා. මම දෙවැනි තැන දිනුවා. හෙන්රි පෙරේරා පළවැනියා. ඔහුට පාකර් පෑන ලැබුණා. මට එස් එම් නායගම් මහත්තයාගේ ‘සොහොයුරෝ’ චිත්‍රපටයේ ලීනා ද සිල්වා සහ අරුණශාන්ති ගේ රංගනයට ආදර අඹරේ නම් වූ පසුබිම් ගීතය ගයන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම චිත්‍රපටයේ නැටුමකටත් තෝරා ගත්තා.
යුග ගීය ගැයුවේ කා සමඟද?
සිඩ්නි ආටිගල සමඟ. ඔහු ඒ කාලේ හරිම ජනපි‍්‍රයයි.
ඒ වනවිටත් ඔබ පාසල් දැරියක්?
ඔව්. එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති.
දිගටම චිත්‍රපට ගීත ලැබුණා. පී.එල්.ඒ. සෝමපාල මහත්තයා මට හුඟක් උදව් කළා. දෙයියන්ගේ රටේ, දස්කම ගැහැනු ගැට, දීපශිකා වගේ චිත්‍රපට රාශියක්. ඒ අතරේ මා ගැයූ සරල ගීතත් ජනපි‍්‍රය වුණා.
පාසල් ගමනට බාධා වුණේ නැද්ද?
ඒ වන විට මම අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන් කරලා. ගුවන් විදුලියේත් සිනමාවෙත් එක තරමට වැඩ තිබුණු නිසා මා ඉබේටම වෘත්තීය ගායිකාවක බවට පත් වුණා.
මුල් කාලේ යුග ගී ගැයුවේ කාත් සමඟද?
මොරිස් දහනායක, ක්‍රිස්ටෝෆර් පෝල්, හරූන් ලන්ත්‍රා, පී වර්ධරාජා, හියුබට් ප්‍රනාන්දු, සී.ටී. ප්‍රනාන්දු වැනි ගායකයන් සමඟ.
මොවුන් අතරින් වැඩියෙන්ම ගැයුවේ?
මොරිස් දහනායක සමඟ. ඒ කාලෙ මොරිස් - ඇන්ජි යුගයක් බිහි වුණා. ඒ යුගයේ මම ගුවන් විදුලි ගීත 300 කට වඩා ගැයුවා.
ජෝති – ඇන්ජි යුගය ඇරැඹුණේ කොහොමද?
මේ වනවිට ජෝතිපාලත් ගුවන් විදුලියේ ගීත ගයනවා. ඔහු මට පසුවයි ක්‍ෂෙත්‍රයට ආවේ. ගුවන් විදුලියේ සිංහල අවුරුදු වැඩසටහන්වලට මා ඔහු සමඟ යුග ගීත ගායනා කළා. පසුව චිත්‍රපට ගීත සඳහාත් විශාල ඉල්ලුමක් ඇති වුණා.
මුලින්ම ජෝති සමඟ ගැයූ ගීතය මතකද?
ඔව් “ජීවනයේ වීණාවේ” යන ගීතය.
ඉන් පස්සේ?
1951 න් ඇරැඹුණු චිත්‍රපට පසුබිම් ගායනය මා 1996 දක්වාම අඛණ්ඩව සිදු කළා.
ඔබ වඩාත් කාර්ය බහුලව සිටියේ?
1960 – 70 දසකවල.
මේ ඉල්ලුමට හේතුව කුමක්ද?
මගෙත් - ජෝතිගෙත් කටහඬ සිංහල සිනමාවේ ඕනෑම නළු නිළි යුවළකට හොඳින් ගැළපීම. හැටේ දශකයේ ජනපි‍්‍රය වූ ජීවරාණි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, ෆ්ලොරිඩා ජයලත්, සහ 70 දශකයේ සිනමාව බැබලවූ මාලනී ෆොන්සේකාගේ සිට මෑත කාලයේ සංගීතා වීරරත්න වැනි නිළියන් දක්වාම මගේ කටහඬ ගැළපුණා.
ජෝති – ඇන්ජි යුගය නිමා වීමත් සමඟම ඔබ චිත්‍රපට පසුබිම් ගායනයෙන් තරමක් ඈත් වුණා යැයි කීවොත්?
ඉන්පසුව මම ග්‍රේෂන් ආනන්ද හා මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන් සමඟ චිත්‍රපට පසුබිම් ගීත ගැයුවා. මුලින් බොහොම අඩු මුදල්වලට වගේම, අපි නිකන්මත් සින්දු කිව්වා. පසුව මම කල්පනා කරලා මගේ මිල වැඩි කළා. අපේ ගීත නිසාම ජනපි‍්‍රය වූ චිත්‍රපටත් තිබෙනවා. අපිට වෙනත් ආදායම් මාර්ග නෑ. අපිටත් ජීවත් වෙන්නට මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම සාධාරණ යැයි හිතෙන මුදලක් නොදුන්නොත් මා චිත්‍රපට හෝ සන්දර්ශන බාර ගන්නේ නෑ. ඒ නිසයි මා චිත්‍රපට පසුබිම් ගායනයෙන් ඉවත් වූ බවක් ඔබට සිතෙන්නේ.
ඔබ අයකරන මිල ඉතා ඉහළ යැයි ඔබට අයෙක් චෝදනා කරනවා?
ඔව් එහෙම චෝදනා කරන අය ඇති. නමුත් අද අපේ ගීත ගයලා, කොපිකරලා හොරෙන් තැටි ගහලා හම්බ කරන අය කොයි තරම් ඉන්නවාද? ජීවිත කාලෙම දුක් මහන්සිවෙලා නිර්මාණ කළ අපිට ඒ තරම් ආදායමක් ලැබෙනවාද? නෑ. අපිත් කන්න බොන්න, අඳින්න, පලඳින්න, වාහනේට තෙල් ගහන්න, ලෙඩට දුකට බේත් ගන්න ඕනෑ. ඒ මදිවට ආදායම් බදු ගෙවන්නත් ඕනෑ. මේවාට කොයින්ද සල්ලි? තුට්ටු දෙකට සින්දු කියන්න මම සූදානම් නෑ. ලාබෙට සින්දු කියලා මගේ හැකියාව බාල්දු කරන්න මම කැමති නෑ. මම කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නෑ. ඇත්ත ඇති හැටියෙන් කියනවා.
ඔබේ ප්‍රතිපත්තිය ආර්ථිකයට බාධාවක් නොවේද?
පැහැදිලිවම බාධාවක්. ඒත් මම ඒ ප්‍රතිපත්තිය රකිනවා. දෙයියන්ගේ පිහිටෙන් මට අඩුපාඩුවක් නෑ. මමත්, සැමියාත් දෙදෙනාම ලොකු සල්ලිකාරයෝ නොවෙයි. ලැබුණු දේ පරිස්සමින් පරිහරණය කරනවා. මගේ දරුවන්ට මම උපරිම සැපදීලා හැදුවා. අද ඒ දරුවෝත් මට උදව් කරනවා.
ඔබේ පවුලේ විස්තරත් කියන්න.
මගේ සැමියා ලෙස්ලි මහින්ද ගුණතිලක. මට ඉන්නේ දූලාම දෙන්නෙක්. ;ලාකු දූ ලෙස්ලින් මිලානි. ඈ විවාහ වෙලා නවසීලන්තේ පදිංචි වෙලා සිටිනවා. ඈට දරුවො හතර දෙනයි. දෙවැනි දූ ඇන්ජලීන් ඩිල්ශානි. ඇය විවාහවෙලා ලංකාවෙ ඉන්නවා. ඇගේ පුතා ඉමල් ජූඩ් තමයි මම වගේ සංගීත ක්‍ෂෙත්‍රයට යොමු වෙලා ඉන්නේ. ඔහු තවමත් ඉගෙනුම ලබනවා. ඒත් ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයටත් යොමු වෙලා සිටිනවා. මගේ සංගීත වැඩවලට දැන් ඉමල් පුතාගෙන් ලොකු සහයෝගයන් ලැබෙනවා.
ඒ කියනවිටම ගමන් මල්ලකුත් කරේ දමා ගෙන ඉමල් ගෙට ගොඩ වුණා. ඔහු ආච්චි අම්මත් එක්ක එකට ඉඳලා පිංතූරයකටත් පෙනී සිටියා.
ඔබේ දියණිවරුන් මේ ක්‍ෂෙත්‍රයට යොමු නොකළේ ඇයි?
මට වුවමනා කළේ ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නටයි.
මේ දක්වා ඔබ ගීත කීයක් විතර ගයා තිබෙනවාද?
ගීත 5000 කට වැඩියි.
දශක පහකටත් අධික කාලයක් මුළුල්ලේ සිංහල සිනමාවට හා ගීත ක්‍ෂෙත්‍රයට ඔබෙන් ඉටු වූ මෙහෙවර පිළිබඳ ඔබ තෘප්තිමත් වෙනවාද?
ඔව්. සම්පූර්ණයෙන්ම තෘප්තිමත්. ඒත් රසිකයින්ගෙන් හැර පැවැති රජයන් ගෙන් හෝ කලා ලොවෙන් මගේ මෙහෙවර නිසි ඇගැයීමකට ලක් වුණේ නැතැයි කියලයි මම හිතන්නේ.
ඒ ගැන ඔබ දුක් වෙනවාද?
ඔව්. පුංචි දුකක් තිබෙනවා. මළාට පස්සේ අගය කරලා වැඩක් නෑනේ. මට උපහාර දක්වන්න කියලා මම කාගෙවත් පස්සෙ යන්නේ නෑ. අද අපේ නිර්මාණ ප්‍රසිද්ධියේ කොල්ල කනවා. නිර්මාණ සොරුන්ට ලැබෙන ආදායම හෝ සැලකිල්ල අද නිර්මාණයේ හිමිකරුවාට ලැබෙන්නේ නෑ. මේවා නතර කරන්නට බලධාරීන් යම් පියවරක් ගන්නවා නම් හොඳයි.
ඔබගේ ගීත ප්‍රසංගයක් පවත්වන්නට අදහසක් නැද්ද?
අදහසක් තිබෙනවා. ලබන වසරේ මුල එවැන්නක් පැවැත්වීමට මා සිතා සිටිනවා.
ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් හොඳටම. දෙවියන් වහන්සේ මට අපූරු කටහඬක් දායාද කරදී තිබෙනවා. ඒ වගේම ලෙඩක් දුකක් නැතිව කාලා ඇඳලා ඉන්න තත්ත්වයක් ලබා දීලා තියෙනවා. ඒ ගැන මම දෙවියන්ට ස්තූති කරනවා. මට තියෙන හැටියට මම දුප්පතුන්ට උදව් කරනවා. අවංකව සතුටෙන් ජීවත් වෙනවා. ඉතින් මම ජීවිතේ ගැන තවත් මොනවාට කම්පා වෙන්නද? දෙයියන් ගේ පිහිටෙන් ජීවිතේ අවසානය දක්වාම ගීතයක් කියාගෙන කාටවත් කරදරයක් නොවී සතුටින් ඉන්නයි මගේ ප්‍රාර්ථනාව. අපට සමුදෙමින් ඇන්ජලීන් කීවා.
සාගරිකා දිසානායක ජයසිංහ
ලිපිය - මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment